ලංකා පටුන

හැදින්විම

කිත්සිරිමෙවන් රජ සමය වනවිට මෙම වෙළඳ වරාය ලංකාපට්ඨනනමින් හඳුන්වා තිබූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. පුරාවිද්‍යා ගවේෂණයන්ගෙන් සනාත වී ඇති පරිදි අනුරපුර යුගයේ දී ලංකාපටුන පුදබිම මහා සංඝයා වහන්සේ වෙනුවෙන් වෙන් කර සංඝාවාස තනවා තිබී ඇත. මෙහි ශිලා පර්වතය මත ඉපැරණි දාගැබක පේසාව, කපරාරුව, එ් සඳහා භාවිත කරන ලද බදාම කොටස්, බොර දම් (ලීස්තරවල කළ කැටයම්) ආදිය අදටත් ඉතා හොඳින් ආරක්ෂා වී පවතී. මෙහි වැඩසිටි ස්වාමීන් වහන්සේලාගේ පරිහරණයට ජලය ලබා ගන්නට පොකුණු දෙකක් ද නැගෙනහිරට වන්නට තිබූ බව පුරාවිද්‍යා මතය වී ඇත. අක්කර 20ක පමණ භූමි භාගයක් පුරා පැතිරී ඇති මේ නටබුන්වලින් කියාපාන්නේ සිරි දළදා හිමි ලක් දෙරණට වැඩමවා වදාළ මේ පින් බිම චිරාත් කාලයක් තිස්සේ සැදැහැතියන්ගේ වන්දනාමානයට නො අඩුව පාත‍්‍ර වී තිබූ පින් බිමක් බව ය.

මේ ස්ථානයට පසෙකින් මහා සමුද්‍රයත්, අනෙක් පසින් කලපු තීරයත් බොහෝ ඈතට දිස්වන්නේ අපූරු ආකාරයට ය. එය මෙහි පැමිණ දෑසින් ම විඳ ගත යුතු ය. වන රොද ඔස්සේ ඈතට සීරුවෙන් නෙත් යොමු කළහොත් සේරුවාවිල සෑ රජාණන් වහන්සේගේ කොත් කැරැුල්ල දැක ගැනීමට හැකි වනු ඇත.