මාබල් බිඡ්

කින්නියාවේ "මාබල්බීච්" හරිම ප්‍රකට වෙරළ තීරයක්‌. අරුගම්බේ, පාසිකුඩා, කල්කුඩා, නැතිනම් අපි හඳුන්වාදුන් වෙරළ, සල්ලතිව් නොහොත් චල්ලතිව් වලින් පස්‌සේ කතාකරනවානම් ඉතින් හොඳම වෙරළ මාබල් බීච්ම තමයි. මේ වෙරළට යන්නෙත් කින්නියා පාලම ත්‍රිකුණාමලය පැත්තෙන් පටන් ගන්න තැනින්. එතැන් සිට කිලෝමීටර් එකහමාරක්‌ විතර ගියහම මේ අපූරු මුහුදු පරිසරය හමුවෙනවා. යුද සමයේ සිට මේ ප්‍රදේශයේ ආරක්‍ෂාව භාරව කටයුතු කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව. යුද්ධයේ නිමාවත් සමඟ ඔවුන් දැන් මෙහි අපූරු නිවාඩු නිකේතනයක්‌ ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම "මාබල් බීච්"වල කළමනාකරණ කටයුතු, පිරිසිදු කිරීම යනාදිය කරන්නෙත් ගුවන් හමුදාව. 

ඇත්තටම "මාබල් බීච්" කියන්නේ ක්‍රිකුණාමල බොක්‌කේම (වරායේම) එක වෙරළ තීරයක්‌. මෙතැන ජල තටාකයක්‌ වගේ. ගැඹුරු නැහැ. වැලිතලාව හා ගල්පර වගේ තමයි තියෙන්නේ. හිරු එළියට ජල තලය මතින් වැටෙන රැස්‌දහරා අපූරු රටාවන් මේ නොගැඹුරු ජලතලයේ සිත්තම් කරනවා. "හරියට මාබල් ඇල්ලුවා වගේ" ඒ හින්ද තමයිලු මේක "මාබල් බීච්" වෙලා තියෙන්නේ. කොට්‌ටියාරම් බොක්‌කේ සාම්පූර් (ෆවුල් තුඩුව) ඉඳන් ත්‍රිකුණාමලය (එලිෆන්ට්‌ තුඩුව) දක්‌වා වු වක්‍රයේ හරි අර්ධය ගෙවෙන තැන මේ "මාබල් බීච්" කිව්වොත් නිවැරදියි කියලා අපට හිතෙන්නේ මෙතන ඉඳන් රවුන්ඩ් අයිලන්ඩ් ප්‍රදීපාගාරය වගේම (පෙර අපි කඳවුරු බැඳි) ෆවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරයත් සරළ රේඩීයව මෙහි සිට දැකබලාගත හැකි වන නිසා. 

මෙතැනට ත්‍රිකුණාමල වරායේ විවරය හරි අපූරුවට දැකගත හැකියි. "එළිෆන්ට්‌ (දූපත) අයිලන්ඩ්" වගේම එලිෆන්ට්‌ තුඩුවත්, වරාය කටත් පේන හින්ද මේ වෙරළ ආසන්නයටම වගේ නාවික යාත්‍රාත් දැකගත හැකියි.