පරවි දුපත

නිල් මුහුදේ පාරාදීසය සොයා

Pigeon Island3
ත්‍රිකුණාමලය කියන්නේ සංචාරක පාරාදීසයක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. කෝනේෂවරම් කෝවිල , නිලවැලි මුහුදු තීරය, කින්නියා උණුවතුර ළිං ආදී මේ දේවල් නිසා ත්‍රිකුණාමලයේ සංචාරය කරන්න ගොඩාක් දෙනෙක් කැමතියි. මේ අතර ගොඩාක් දෙනෙක් දන්න සුන්දර තැනක් තමයි “පරවි දූපත “ කියන්නේ. දෙමළ භාෂාවෙන් කිව්වොත් “පරාමලේ “.
නිලාවැලි වෙරළ තීරයේ ඉඳලා කිලෝමීටර් එකහමාරක් විතර ඈතින් තියෙන මේ පරවි දුපත අතිශයින් සුන්දර එකක්. මෙතන දූපත් දෙකක් තියෙනවා. මේකෙන් ලොකු දුපත පරවි දුපත.අනිත් එක කාක දුපත. නිලාවැලි වෙරලේ ඉඳලා බෝට්ටුවකින් මේ දුපතට යන්න ඕන. මේකට වෙනම බෝට්ටු සේවයක් තියෙනවා. සාමාන්‍යෙයන් වනජීවී එකෙන් මේ දුපත බලන්න යන්න ටිකට් එකක් ගන්න වෙනවා. කොහොම හරි බෝට්ටුවක එකපාර 8 දෙනෙකුට යන්න පුළුවන්.මෙහෙම යන කණ්ඩායමකට යන්න එන්න බෝට්ටු ගාස්තු එක්ක සාමාන්‍යෙයන් රුපියල් 3000 ත් 4000 ත් අතර ගාණක් යන්නේ. හැබැයි උදේ බෝට්ටුව ගත්තම අමතක කරන්න එපා බෝට්ටුකරුගේ දුරකථන අංකය ඉල්ල ගන්න. මොකද ඒ බෝට්ටුවේම තමයි හවසට ආපහු එන්න තියෙන්නේ.
Pigeon Island5  Pigeon Island10
මේ දුපතේ විශේෂතා ගොඩාක් තියෙනවා. එකක් තමය් මේක තමයි ලංකාවේ එකම දුපත් ජාතික උද්‍යානය. 1970 දී මේක අභය භූමියක් කළා පස්සේ 2003 දී තිමයි ජාතික උද්‍යානයක් කළේ.කොරල් පර වලින් ගහන වෙරළ කලාපයක් සහිත පරවි දුපත ආශ්‍රිතව කොරල් විශේෂ 100 ක් විතර තියෙනවා.ඒ වගේම විසිතුරු මසුන් වර්ග 300 කට වැඩි ප්‍රමාණයක් මේ ආශ්‍රිත කලාපයේ ජීවත් වෙනවා. තව දුර්ලභ ගණයේ මුහුදු ශාඛ සහ ජීවීන් ආදීන් මෙහිදී නරඹන්න පුළුවන්.
Pigeon Island8 Pigeon Island11 Pigeon Island12
ඒ වගේම පරෙවි දූපතෙහි දී සුවිශේෂි ශාක පද්ධතියක් දකින්න ලැබෙනවා. කොහඹ, සියඹලා, මලිත්තන් ශාක විශේෂ ද පරෙවි දූපතටම ආවේනික වු ටෙම්පිස්‌ ඇසිඩ්යුලා වැනි ශාක ද මේ අතර වෙනවා. ලන්ටානා, පතොක්‌ ආදි පඳුරු ශාක විශේෂ ද මෙහි බහුලවම දකින්න පුලුවන්. ඒ වගේම පරවියන්ට අමතරව කුරුළු විශේෂ ගණනාවක් මෙතනදි දකින්න පුළුවන්. ඒ අතර ගොළු කිරලා, බ්‍රාහ්මන උකුස්‌සා, කළු කොකා ප්‍රධානයි.
එතකොට මේ දුපතට පරවි දුපත කියලා නම වැටුනේ කෙහොමද? කියන එක කාටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අතීත ජනප්‍රවාද වලට අනුව රජ සමයේ මෙම දූපත පරෙවියන් මගින් පණිවුඩ හුවමාරු කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ විදිහට පාවිච්චි කරලා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ සංදේශ යවන්න අවශ්‍ය පරවියන් ගාල් කරලා තැබු තැනක් කියලයි සැලකෙන්නේ. අදටත් මෙම දුපතේ පරවියන් දස දහස් ගාණක් දකින්න පුලුවන්. මොකද මේකට ජීව විද්‍යාත්මක හේතුවකුත් තියෙනවා. ඒ කොරල් පර ආශ්‍රිත පරිසර පද්ධතිය පරවියන්ගේ අභිජනනයට හිතකර සාධකයක් නිසා.
Pigeon Island7Pigeon Island1
ගල් පර වලින් ගහන මේ පරවි දුපත ඇත්තටම සුන්දර තැනක්. සුවිශාල ගල් කඳු උඩට නැගලා අවට වටපිටාව බලන්නත් මෙතනදි හොඳටම අවස්ථාව තියෙනවා. අනිත් එක දුපතක් කියන්නේ බාහිර සබඳතාවක් නැති වෙන්වුන ප්‍රදේශයක් නිසා වෙන තැනක නැති තරම් නිදහසක් හිතට දැනෙනවා මෙතනදි.දුපතේ නැගෙනහිර පැත්තේ තියෙන නොගැඹුරු පිරිසිදු පතුළ පෙනෙන මුහුදු තීරය නාන්න කියාපු තැනක්.දුපත පුරාම තියෙන ගස් වැල් සහ සිප්පි කටු නිසා අමුතුම ලස්සනක් එකතුවෙලා තියෙනවා. ඒ වගේම දුපත වටේම ඇවිදින්න තියෙන ස්වාභාවික මං පෙත් නිසා මේ දුපත නිවාඩුවකට කියාපු තැන කියලා කියන්න පුළුවන්. හැබැයි යනකොට සෙරෙප්පු දෙකක් දාගෙන යන්න අමතක කරන් එපා මොකද සෙරෙප්පු නැතුව ඇවිදිනකොට වැලි අස්සේ තියෙන තියුණු සිප්පි කටු වලට කකුළ කැපෙන්න පුළුවන්.
සාමන්‍යයෙන් ත්‍රීකුණා මලයේ සංචාරයක් යනවා නම් පරවි දුපතට දවසක්ම තියාගන්න වෙනවා. මොකද එහේ උදේ ගිහිල්ලා හවස් වෙනකල් ඉඳලා එන එක හරිම සුන්දර වැඩක්. හැබැයි ගියොත් අමතක නොකර ගෙනියන හැම දෙයක්ම ආපහු අරං එන්න.මොකද මේ සුන්දර පරිසරය තවත් පරම්පරා ගාණක් අපිට වටින නිසා.

සංචාරක නිවාසයේ සිට ත්‍රිකුණාමලය දෙසට 2ක්‍රි.මි. ගමන් කොට එරක්කණ්ඩි පසු කිරිමෙන් පසු හමු වන මාර්ගයේ වම් පැත්තට ගමන් කිරිමෙන් ඔබට මේ දක්වා ගමන් කල හැකිය